ආනයනය කළ වාහන 1025ක් හම්බන්තොට වරායේ හිරවෙලා 

ආනයනය කළ වාහන 1025ක් හම්බන්තොට වරායේ හිරවෙලා 

July 26, 2026   10:15 am

මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වාරයෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවෝ කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අවධාරණය කළේ, ඉන් වාහන 625ක් මෙරටට ආනයනය කර මාස හයකට අධික බවය. 

මෙම වාහනවල කිසිදු රේගු වරදක් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළේය. 

ඒ අනුව කිසිදු රේගු වරදක් නොමැතිව නිදහස් කරගෙන නොමැති වාහන රේගු ආඥා පනතේ 109 වන වගන්තිය ප්‍රකාරව වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන හෙතෙම කියාසිටියේය. 

මෙරටට ගෙන්වන ඕනෑම භාණ්ඩයක් මාසයක් තුළ ඊට අදාළ සියලුම බදු වර්ග ගෙවා නිදහස් කරගත යුතුය. 

එසේ නොකරන්නේ නම් අදාළ පනත යටතේ ඒවා විකුණා එම මුදල්වලින් රජයට අවශ්‍ය බදු ප්‍රමාණය අයකරගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව සඳහන්ය. 

අදාළ බදු ගෙවීමෙන් අනතුරුව ඉතුරුවන මුදල්වලින් වරාය සහ ගුදම් ගාස්තු ගෙවීමට හැකිය. 

එම ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතුරු වන යම් මුදලක් තිබේ නම් එය අදාළ ආනයනකරුවා හට ගෙවීමට කටයුතු කරන බව චන්දන පුංචිහේවා මහතා පැවසුවේය. 

ආනයනය කරන ලද භාණ්ඩ මාසයකට වඩා කාලයක් වරායෙන් නිදහස් කරගෙන නොමැති නම් ඒ බව වරයා පාලකවරයා විසින් ශ්‍රී ලංකා රේගුවට දැනුම්දිය යුතුය. 

මේ වනවිටත් නිදහස් කරගෙන නොමැති වාහන සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ඒවා අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය. 

කෙසේවෙතත් යම් ආනයනකරුවෙකුට සාධාරණ හේතුවක් මත අදාළ වාහන නිදහස් කරගැනීම නොහැකි බවට දැනුම්දෙනු ලබන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමේ හැකියාවක් ද පවතින බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.